Lanka Focus News

ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී නොමැති බව ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට පවසයි

ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී නොමැති බව ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට පවසයි

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වාගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වෙයි. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැහැ,” යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති හමුවේදී පෙන්වා දී තිබේ.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා එහිදී පවසා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

දෙපාර්ශ්වය අතර පැවති සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පවසා ඇත.

“සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැළැස්මක් යටතේ එහි දියුණුවට අතදීමට තම රට සූදානම්,” බව රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණයකර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යැයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“විදේශ ආයෝජනයට බාධාකරන නිලධාරීවාදී පටිපාටි ඉවත්කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කරගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න,” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි ද පෙන්වා දුන්නේ ය.

මෙහිදී, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමෙරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා සඳහන් කළේය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැනද එහිදී ඔහුගේ සතුට පළ කෙරිණි.

ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුනි.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියාකිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares