Lanka Focus News

ශ්‍රී ලංකාවට තරග 13ක අභියෝගයක්

ශ්‍රී ලංකාවට තරග 13ක අභියෝගයක්

දීපක් චාහර් විසින් පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ කැපී පෙනෙන දක්ෂතා හමුවේ ජවය ලද ඉන්දියාව, ඊයේ (20 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් වාර්තාකර ගත්තේය.

ඒත් සමගින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය ගැනීමටත් ඉන්දියාවට හැකි විය. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 1997 වසරේදී වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 10න් පරාජය වූ 8වැනි තරගය මෙය විය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්විණි. අදාළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ 11 වැනි තරගය මෙය වූ අතර එයින් ඔවුන්ට ජයගත හැකිව ඇත්තේ එක් තරගයක් පමණි. ඒ හේතුවෙන් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව එම තරගාවලිය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 13ම ජයග්‍රහණය කළ යුතු වේ. එසේ නොවුණහොත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමට සිදු වේ.

ලකුණු 193ක් තුළ කඩුලු 7ක් දැවී පවතින මොහොතකදී ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දීපක් චාහර් සහ බුවනේෂ්වර් කුමාර් යුගලය 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක නොබිදුණු සබඳතාවයක් පිහිටුවීය. එහිදී පන්දු 82කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69ක් රැස් කිරීමට දීපක් චාහර් සමත් වූයේය. පන්දු යවමින් ලකුණු 53කට කඩුලු 2ක් දවාගෙන තිබීමද හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත් ඔහු සතු විය. අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි බුවනේෂ්වර් කුමාර් නොදැවී ලකුණු 19ක් රැස්කර ගත්තේය.

චාමික කරුණාරත්න, දසුන් ශානක, ධනංජය ද්‍ සිල්වා වැනි පන්දු යවන්නන්ට තවත් පන්දුවාර ඉතිරිව තිබියදී එක් අන්තයකින් දිගින් දිගටම පහර කෑමට ලක් වූ ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවාර 10ම යවා අවසන් කිරීම මෙහිදී කැපී පෙනෙන කාරණයක් විය. සඳකැන් යැවූ පන්දුවාර 10 තුළදී ඉන්දීය පිතිකරුවන් ලකුණු 71ක් රැස්කළ අතර එහිදී ඔහුට දවාගත හැකි වූයේ සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල පමණි.

මීට අමතරව ඉන්දීය ඉනිමේ වාර්තා වූ අතිරේක ලකුණු 21 අතුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වයිඩ් පන්දු 16ක් යවා තිබීමද පරාජයට හේතුවක් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 10 යවමින් ලකුණු 37කදී කඩුලු 3ක් දවා ගැනීමට වනිදු හසරංගට හැකි විය.

පළමු තරගයේ පන්දු නොයැවූ දසුන් ශානක මෙම තරගයේදී යැවූ 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම මනීෂ් පාණ්ඩේව දුවද්දී දැවීයාමකට හසුකර ගත්තේය. ඉන් නොනැවතුණු දසුන් එම පන්දුවාරයේ අවසන් පන්දුවේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරය වෙත යැවීය.
ඉන්දීය මැද පෙළ ශක්තිමත් කරමින් අගනා පිති ප්‍රහාරයක නියැළුණු සූර්ය කුමාර් යාදෙව් සිය මංගල අර්ධ ශතකය වශයෙන් ලකුණු 53ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකාව තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමේදී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ වේගවත් පිතිහරඹයක යෙදෙමින් පිට පිට දෙවැනි වරටත් නොදැවී ලකුණු 40 සීමාව පසු කිරීමට චාමික කරුණාරත්න වගබලා ගත්තේය. 8 වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි චාමික එහිදී පන්දු 33කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 44ක් රැස්කර ගත්තේය.

පළමු තරගයේදී සේම මෙම තරගයේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නැංගුරම් ඉනිමක නිරත වූ චරිත් අසලංක සිය මංගල එක්දින අර්ධ ශතකය දක්වා පිත්ත හැසිරුවේය. බුවනේෂ්වර් කුමාර් විසින් 47 වැනි පන්දුවාරයේ වේගය අඩාළ කර එවූ පන්දුව හරිහැටි තෝරා බේරාගැනීමට නොහැකිව එල්ල කළ පහර අතිරේක ක්‍රීඩක දෙව්දත් පඩික්කාල් උඩ පන්දුවක් ලෙසින් රැකන්නා විට චරිත් ලකුණු 65ක් රැස්කරගෙන සිටියේය. පන්දු 68කදී වාර්තා වූ එකී ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 6ක් අන්තරගත විය.

චරිත් සහ චාමික කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ දෙවැනි අර්ධ ශතක සබඳතාවය පිහිටුවීමද විශේෂත්වයක් විය. පන්දු 48කදී වාර්තා වූ එම සබඳතාවය ලකුණු 50ක් ලෙසින් දැක්විණි. පළමු තරගයේදී සේම කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවරත් පන්දුවට පහරදීමට තීරණය කළේය. එම තීරණයට සාධාරණයක් ඉටු කළ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක අගනා සබඳතාවයක් පිහිටුවීය. එම සබඳතාවය සටහන් වූයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 20 කදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ පස්වැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 4ක් ලබා සිටියදී දෙවැනි ස්ලිප් ක්‍රීඩක මනීෂ් පාණ්ඩේ වෙත ලබා දුන් උඩ පන්දුව අතහැරීමේ වාසිය ලබාගත් මිනෝද් භානුක හතරේ පහර 6ක් සමගින් ලකුණු 36ක් රැස්කරගත්තේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය සිව්වැනි එක්දින අර්ධ ශතකය ඊයේ වාර්තාකර ගත්තේය. පන්දු 71කට මුහුණ දී සිටි අවිශ්ක සිය ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 4ක් එක්කොට තිබුණි.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් සහ යුස්වේන්දර් චහල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 275යි. (අවිශ්ක ප්‍රනාන්දු 50, මිනෝද් භානුක 36, භානුක රාජපක්ෂ 00, ධනංජය ද සිල්වා 32, චරිත් අසලංක 65, දසුන් ශානක 16, වනිදු හසරංග 08, චාමික කරුණාරත්න (නොදැවී) 44, දුෂ්මන්ත චමීර 02, ලක්ෂාන් සඳකැන් 00, කසුන් රාජිත (නොදැවී) 01, බුවනේෂ්වර් කුමාර් 3/54, දීපක් චාහර් 2/53, හර්දික් පාණ්ඩ්‍යා 0/20, යුස්වේන්දර් චහල් 3/50, කුල්දීප් යාදෙව් 0/55, කෘනාල් පාණ්ඩ්‍යා 0/37)

ඉන්දියාව පන්දුවාර 49.1 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277 යි. (ප්‍රිත්වි ශෝ 13, ශිකර් ධවාන් 29, ඉශාන් කිෂාන් 1, මනීෂ් පාණ්ඩේ 37, සූර්යකුමාර් යාදෙව් 53, හර්දික් පාණ්ඩ්‍යා 00, කෘනාල් පාණ්ඩ්‍යා 35, දීපක් චාහර් (නොදැවී) 69, බුවනේෂ්වර් කුමාර් (නොදැවී) 19, කසුන් රාජිත 1/53, දුෂ්මන්ත චමීර 0/65, වනිදු හසරංග 3/37, ලක්ෂාන් සඳකැන් 1/71, චාමික කරුණාරත්න 0/26, දසුන් ශානක 1/10, ධනංජය ද සිල්වා 0/10)

administrator

    Related Articles

    Close
    shares