Lanka Focus News

විදුලි සභාපති ට එරෙහිව සජිත්ගෙන් වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක්

විදුලි සභාපති ට එරෙහිව සජිත්ගෙන් වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක්

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ, විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ දී කරන ලද ප්‍රකාශය පසුව ඉල්ලා අස්කර ගැනීම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුදෙනාගේ වරප්‍රසාද කඩවී ඇති බවය.

සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී සමාජ ක්‍රියාකාරීන් පිරිසක් හමුවු අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

“ඔහුට මම හිතන්නේ බලපෑමක් ආවා. ඒක තමා සිදුවුණේ. මම අහන්න කැමතියි ෆර්ඩිනැන්ඩු මහත්මයාගෙන් ඔබට මොකද්ද තියෙන අයිතිය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඇවිල්ලා බොරු කියන්න. ඔබ දන්නවා ද ඒක වරප්‍රසාද ප්‍රශ්නයක්. ෆර්ඩිනැන්ඩු සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද කඩකිරීමේ යෝජනාව විපක්ෂ නායකයා හැටියට මම ගෙන එනවා. අපි දන්නේ නෑ මොන හේතුවක් මත ද ඔබ මේක ඉල්ලා අස්කර ගත්තේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා ෆර්ඩිනැන්ඩු මහතාට බලපෑමක් නොකළේ නම් එවැනි තීරණයක් ගැනීමට අගමැතිවරයා විසින් බලපෑම් කර ඇත්දැයි ගැටලුවක් බවය.

“කෙසේවෙතත් ඔහුගේ ලිපියේ බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපතිවරයා විසින් ඔහුව මේ සඳහා යොමු කළ බව. පසුගිය නොවැම්බර් මස 25 වනදා එස්.ආර් ආටිගල අමතා ලියූ ලිපියේ නිශ්චිතව සඳහන් වෙනවා. ඒ බව පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා එතුමා එවැනි කිසිම බලපෑමක් නොකළ බව. එතකොට අගමැතිවරයා ද ඒ නියෝගය දුන්නේ. එසේ කිරීමට එතුමාට තියෙන වගකීම මොකද්ද ? ලංකා විදුලිබල පනත සම්පූර්ණයෙන්ම මෙමඟින් උල්ලංඝනය වෙනවා. පනත් උල්ලංඝනය කරලා කටයුතු කරන්න කැබිනට් මණ්ඩලයට හැකියාවක් නෑ.”

මෙගා වොට් 500ක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ තමා කෝප් කමිටුව හමුවේ පසුගියදා සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ඔහු දැනුම් දී ඇත්තේ, පසුගිය නොවැම්බර් 25 වෙනිදා තමන් නිල ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීමට අදාළව එල්ල වූ බලපෑම් සහ අසාධාරණ චෝදනා හේතුවෙන් දැඩි ලෙස හැගීම්බර වූ බවය.

විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගිය 10වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

එහිදී අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා විදුලිබල මණ්ඩල නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය (11) රාත්‍රීයේ නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පාර්ශවයකට බලපෑම් සිදු නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන බවය.

කෝප් කමිටුව හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේදී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වූවද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පටිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙවැනි පසුබිමක කෝප් කමිටුවේදී තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔහු සඳහන්කර ඇත්තේ, කෝප් කමිටුවේදී තමා විසින් සිදුකරන ලද පැහැදිලි කිරීමේදී තිබූ පීඩනය හේතුවෙන් තමන් හැඟීම්බර වූ අතර එහිදී තමන් සිදු කළ “ඉන්දීය අගමැති බලකර බව කිව්වා” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සගහත බවය.

ඒ හේතුවෙන් තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, ඒ ගැන කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව වෙත දන්වා තිබේ.

administrator

Related Articles