Lanka Focus News

වැඩි මතයට ඉඩ – ජනපති

වැඩි මතයට ඉඩ – ජනපති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසති.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවට වැඩමකර සිටි මහා සංඝරත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද කරමින් මේ බව සඳහන් කර ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ රජයේ වැඩපිළිවෙල පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ හිමිවරු දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා තිබේ.

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වනවිට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථකයි. ඒ අතර විවිධ මත දරන කණ්ඩායම් සිටිනවා. ඒ වගේම විවිධ දක්ෂතා ඇති පිරිස් ඉන්නවා. ඒ සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දීලා නිවැරදි වැඩපිළිවෙලක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අපේ අරමුණයි.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි අද රටේ ජනතාව විශ්වාස තබා ඇති බව මෙහිදී සඳහන් කළ මහා සංඝරත්නය, එම විශ්වාසය තහවුරු කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හල්පන්විල පාලිත නාහිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවට වැඩමකර සිටි අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්වී ඇත.

administrator

Related Articles