Lanka Focus News

ලෝක ටෙනිස් ශූරයා ඖෂධ නිෂ්පාදනයට එක්වෙයි

ලෝක ටෙනිස් ශූරයා ඖෂධ නිෂ්පාදනයට එක්වෙයි

කොවිඩ් එන්නත ලබා නොගැනීම හේතුවෙන් පසුගියදා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලෝක අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච් පිළිබඳව කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රවෘත්තියක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ ජොකොවිච් සහ ඔහුගේ බිරිඳ විසින් ඩෙන්මාර්කයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක කොටස් 80%ක් මිලදී ගෙන ඇති බවය.

QuantBioRes නම් එම සමාගමේ අරමුණ වන්නේ කොරෝනා වෛරස ආසාදිතයින්ට සුදුසු ප්‍රතිකාර ක්‍රමවේදයක් වැඩි දියුණු කිරීමය.

ඔවුන් විසින් එම සමාගම 2020 වසරේදී මිලදීගෙන තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ අද බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

34 හැවිරිදි ටෙනිස් ශූරයා, එම ඖෂධ සමාගම මිලදී ගැනීමට කෙතරම් මුදලක් වැය කළේ ද මෙතෙක් හෙළිකර නොමැත.

එම ඖෂධ සමාගම විසින් “පෙප්ටයිඩයක්” දියුණු කරමින් සිටින අතර එමගින් කොරෝනා වෛරසය මිනිස් සෛලයට ආසාදනය වීම වළක්වන බව විද්‍යාඥයෝ පවසති.

තව මාස කිහිපයකින් ඒ සම්බන්ධ සායනික පරීක්ෂණ එංගලන්තයේදී සිදුකිරීමට නියමිතය.

administrator

Related Articles