Lanka Focus News

රැජිනගේ අභාවයත් සමග බ්‍රිතාන්‍යයේ වෙනස්කම් කිහිපයක්

රැජිනගේ අභාවයත් සමග බ්‍රිතාන්‍යයේ වෙනස්කම් කිහිපයක්




දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය සමග සමස්ත මහා බ්‍රිතාන්‍යයම විශාල වෙනසකට බඳුන්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී එරට ජාතික ගීයේ ‘ගෝඩ් සේව් ද ක්වීන්’ එනම් ‘දෙවියන් රැජින රැකදේවා’ ලෙස සඳහන් කොටස්, ‘ගෝඩ් සේව් ද කින්ග්’ එනම් ‘දෙවියන් රජු රැකදේවා’ ලෙස සංශෝධනයවීමට නියමිතය.

මහ රැජිනගේ අභාවයත් සමග ඇයගේ ශීර්ෂය සහිතව නිකුත් කෙරුණු කාසි බිලියන 29ක්, වෙනුවට චාල්ස් රජුගේ ශීර්ෂය සහිත කාසි නිකුත් කිරීමටත් සිදුවනු ඇත.

මේ අතර බැකිංහැම් මාළිගය අද පස්වරුවේ නිවේදනය කළේ රැජිනගේ අභාවය වෙනුවෙන් රාජකීය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවසන් වන්නේ අවමංගල්‍ය උත්සවයෙන් දින 7කට පසුව බවය.

රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා පැවැත්වීමට නියමිතය.

රැජිනගේ අභාවය සමග නව රජු ලෙස ඇයගේ පුත් 73 හැවිරිදි චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු නමින් පත් කෙරුණි.

ඔහු ඉතිහාසයට එක්වන්නේ එරටට තේරීපත්වූ වයස්ගතම අධිරාජ්‍යයා ලෙසය.

නව රජු තවත් වසරකින් නිල වශයෙන් රාජාභිෂේකය ලැබීමට නියමිතය.

මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් එළඹෙන සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම අද සිට එළඹෙන සැප්තැම්බර් 19 වනදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබෙනු ඇති.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ලංකාව 1948 පෙබරවාරි 04 වනදා නිදහස ලැබූවද 1972 වසර දක්වාම මෙරට රාජ්‍ය නායකත්වය හිමිවුණේ බ්‍රිතාන්‍ය කිරීටයටයයි.

හය වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු 1952 වසරේ සිට 1972 වසර දක්වා වසර විස්සක් මෙරට රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළේ දෙවන එළිසබෙත් මහ රැජිනය.

ඇය සිය පාලන සමය තුළ අවස්ථා දෙකකදී මෙරට සංචාරය කර තිබේ.

1954 වසරේ අප්‍රේල් 10 වනදා සිට 21 වනදා දක්වා සිදුකළ පළමු සංචාරයේදී ඇය පැමිණියේ මෙරට දෙවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අරඹමින් රාජාසන කථාව සිදුකිරීමටය.

එම සංචාරයේදී ඇය කොළඹ තුරඟ තරග පිටියේ තරග නැරඹීමට ද එක්වූ අතර මහනුවර, නුවරඑළිය, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල ද සංචාරය කර තිබුණි.

ඇයගේ දෙවන සංචාරය සිදුවන්නේ 1981 වසරේදීය.

මෙරටට සර්ව ජන ඡන්ද බලය හිමිවීම නිමිත්තෙන් පැවති ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව ඇය එම වසරේ ඔක්තෝබර් 21 වනදා සිට 25 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වුණි.

මෙම සංචාරයේ විශේෂත්වය වූයේ මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ මෙරට ඉදිකෙරුණු විශාලතම වාරි සහ විදුලිබල ව්‍යාපෘතිය වන වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම නැරඹීමට ද ඇය එක්වීමය.

දෙවන එළිසබෙත් රැජිනගේ පරපුරේ මිත්තණියක වූ වික්ටෝරියා රැජිනගේ නම එම ව්‍යාපෘතිය සඳහා යෝජනා කෙරුණු අතර ලංකා රජයේ ඉල්ලීමක් මත මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍යය මූල්‍යාධාර සැපයීය.

බ්‍රිතාන්‍ය මූල්‍යාධාර මත ඉදි කෙරුණු වික්ටෝරියා වේල්ලෙහි ද ජාතික ධජය අඩකුඹු කරමින් සහ ශ්වේත වර්ණ ධජයක් ප්‍රදර්ශනය කරමින් රැජිනගේ අභාවයට ශෝකය පළකර තිබුණි.

මෙරට හිටපු ජනාධිපතිවරුන් රැසකට ද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ප්‍රධානියා ලෙස දෙවන එළිසබෙත් රැජින මුණ ගැසීමට අවස්ථාව හිමිව තිබුණි.

රැජිනගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය පළ කිරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් සටහනක් තබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඇයගේ අභාවය සැලවීමත් සමග තමන් දැඩි කනගාටුවට පත්වූ බවය.

ස්ථාවර පැවැත්මේ සංකේතයක් බඳු වූ ඇයව නිරන්තරයෙන් සිහියට නැගෙනු ඇති බවත්, බ්‍රිතාන්‍ය රාජකීය පවුලට, එක්සත් රාජධානියට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවටත් සිය හෘදයාංගම ශෝකය පළ කරන බවද එහි සඳහන්ය.




administrator

Related Articles