Lanka Focus News

රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනපති ගෙන් උපදෙස්

රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනපති ගෙන් උපදෙස්




රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමිනි.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊ (10) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳව අදාළ සාකච්ඡාව පැවැත්විය.

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ කඩිනම් කිරීමටත් රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කෙරිණ.

එකම සේවාවක් ලබාදීම සඳහා වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු – රට දිනවමු” ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමට ද තීරණය විය.

කෘෂිකර්මාන්තයේ දී තරුණයින්ට ප්‍රමුඛතාව ලබාදී වැඩි ඵලදායීතාවක් ළඟා කරගැනීමට සහ නව තාක්ෂණය භාවිත කිරීමෙන් ඉහළ අස්වැන්නක් සඳහා සැලසුම් සකස් කිරීමට ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අතර සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැත්වුණි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ සංචාරකයින් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බවය.

ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය කඩිනම්ව නගාසිටුවිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මගින් නිවැරදි කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කර තිබේ.

තවද, සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තවද මහාපරිමාණ, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය සහ සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්‍රයට ලබාගත හැකි බව ද එහිදී සාකච්ඡා කර තිබේ.




administrator

Related Articles