Lanka Focus News

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද, දීපිකා ප්‍රියදර්ශනී ඉෂාක් බෙග් ගේ හඬින්

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද, දීපිකා ප්‍රියදර්ශනී ඉෂාක් බෙග් ගේ හඬින්

බුදු හිමි මතකය අමතක වී යන

කාලය එළැඹි ඇතැයි සිතේ

දෙනෙතේ කඳුළැලි පිසදා පවසමි

කල්ප විනාශය ළඟම ඇතේ.

 

සිව් බුදුවරු දෙසු දහම් සමුදුරේ

පිහිනා යනු මැන හමුවේ නිවන් සුවේ

ඒ සදහම් කඳු මඟ හැරයන දා

සතර අපායේ දුක් ගිනි දසත මැවේ

 

නවතනු නොහැකි දුක්ගිනි කන්දේ

බියකරු බව දෙසු ලොව්තුරු බුදු සමිඳේ

පය පාමුල මම පා පිස්නක් සේ

වැඳ වැඳ සැනසෙමි යශෝදරාවන් සේ

 

ඒ 2015 වසරේ දවසකි. කොළඹදී පැවැත්වුණු එක්තරා සංගීත ප්‍රසංගයකදී ඉෂාක් බෙග් බුදු ගුණ ගීත කිහිපයක්ම ගායන කළේය.

බුද්ධං සරණං ගච්ඡාමි. සුවඳේ මට සීතල සුළඟ පවා වැනි මේ ගීත ගී ගැයීම සඳහා තම වාරය පැමිණෙන තුරු බලා හිඳි දීපිකා ප්‍රියදර්ශනී අසා සිටියාය.

ගී ගයා අවසන ඉෂාක් බෙග්, වේදිකාවට පසු පස වු කුටියට පැමිණියේ සිනාසෙමිනි.

එතැන සිටි දීපිකා, ඉෂාක් සමග කතා බහ කරන්නට පටන් ගත්තාය.

‘‘ලංකාවේ වෙසක් පොසොන් දෙපෝයට මොහිදීන් බෙග් මාස්ටර්ගෙ සිංදු නැතුවම බැහැ.’’

දීපිකා කීවාය.

‘‘ඔය කතාව අපේ තාත්තත් මට කොතෙකුත් කියලා තියෙනවා. මොන තරම් භක්ති ගීත ආවත් තාත්තගෙ ගීත තරම් රසිකයො වැළඳ ගත්තු වෙනත් බෞද්ධ ගීත නැති තරම්.’’

ඉෂාක් කීවේ ආඩම්බරයෙනි.

‘‘ඉෂාක් අපි දෙන්නත් කියමුද බුදු ගුණ ගීතයක්.’’

‘‘කියමුකො. කොච්චර හොඳද?’’

‘‘මට බෙග් මාස්ටර් දකින්න ලැබිලා නැහැ. නමුත් මම බෙග් මාස්ටර්ගේ හඬටයි ගීත වලටයි කැමතියි. ඔයාටත් තියෙන්නේ ඒ හඬමනෙ. එහෙම නම් මම අපේ සිද්ධාර්ථ හාමාදුරුවන්ට කියලා හොඳ ගීතයක් ලියව ගෙන රෝහණ අයියට කියලා මෙලඩිය හදාගන්නම්. අපි ලස්සන වැඩක් කරමු.’’

පසුදාම දීපිකා රඹුකන හාමුදුරුවන්ට කතා කළාය.

අපේ හාමුදුරුවනේ මට ඊයේ ඉෂාක් මුණ ගැහුණා. මම ඉෂාක් එක්ක බුදුගුණ ගීතයක් කියන්න කතා කර ගත්තා. ඔබ වහන්සෙ තමයි මට ලස්සන ගීතයක් ලියලා දෙන්න ඕනෑ.

‘‘ලියමු. ලියමු.’’

හාමුදුරුවෝ කීහ.

‘‘මට ඕනෑ කරන්නේ අපේ හාමුදුරුවනේ ඒ කාලේ බෙග් මාස්ටර් ගායනා කළ විදිහෙ ගීතයක්.’’

‘‘හරි මම හෙමින් සැරේ ලියලා දෙන්නම්කො.’’

සිද්ධාර්ථ හාමුදුරුවෝ, නවසිය හැට ගණන් වල මොහිදින් බෙග් මාස්ටර් ගායනා කළ අන්දමේ ගීතයක් ලියන හැටි කල්පනා කළේය.

‘‘මට බෙග් මාස්ටර් මුණ ගැහිලත් නැහැනෙ. ඒත් ඉතින් ඉෂාක් කියන්නේ මුස්ලිම් භක්තියෙක් වුණත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් බුදු ගුණ ගී ගයන කෙනෙක්නේ. ඒනිසා එයාට හොඳම බෞද්ධ ගීතයක් ලියන්න ඕනෑ.’’

තමන්ටම කියා ගත් හාමුදුරුවෝ වත්මන වැනසී යන සාරධර්ම ඉස්මතු වන ලෙසින් ගීතයක් ලිවිය යුතු යැයි තීරණය කළෝය.

​දෙතුන් දවසකට පසු එක්වරම හාමුදුරුවන්ගේ හිතට මියුරු බුදු ගුණ ගීයක වචන පෙළක් සිහි විය. උන් වහන්සේ ඒ මොහොතේම ඒ වචන කඩදාසියක සටහන් කර ගත්හ.

‘‘මේ වෙද්දි අපේ රටේ මිනිස්සුන්ට ආගම දහම අමතක වෙමින් යන්නේ… බොරු සරුව පිත්තල පස්සේ දුවන පාරිභෝගික සමාජයක් අද තියෙන්නේ. මට ඕනෑ වුණේ මේ ගැන කතා කරන්න.

​මොහිදීන් බෙග් මාස්ටර් වුණත් කිව්වේ ඒ වගේ ගීතනෙ. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා වගේ. ඉතින් මමත් ඒ වගේ තේරුමක් තියෙන පද මාලාවක් ලිව්වා.’’

හාමුදුරුවෝ දීපිකාට එසේ කියා ගී පද මාලාව ද කියෙව්වෝය.

‘‘ඒක හරිම හොඳයි. හාමුදුරුවනේ’’

දීපිකාද කීවාය.

එහෙත් දීපිකා යනු කාර්ය බහුලම ගායිකාවකි.

ඇගේ සෞන්දර්ය ශාලිකාව නිරතුරුවම සිසු දරු දැරියන්ගෙන් පිරෙයි. අනෙක් පැත්තෙන් ගී ප්‍රසංගය. ඒවාට රට පුරා මෙන්ම ලෝකය පුරා ද යන්නට සිදු වෙයි. ඒ හැරුණු විට සමාජ සේවා කටයුතු ද ඇයට නැතුවාම නොවේ. ඔය ආදී ලෙසින් කාර්ය බහුල වන දීපිකාට අර ගීතය කෙමෙන් කෙමෙන් අමතකව ගියේය. යළිත් ඔය ගිතය ඇගේ මතකයට ආවේ 2019 වසරේ අන්තිම හරියේය.

‘‘2020 වෙසක් උත්සවේට මම මේ සිංදුව රීලීස් කරනවා.’’

දීපිකා සැනෙකින් තීරණයකට එළඹුණාය. ඒ මොහොතේම ඇය කතා කළේ ආචාර්ය රෝහණ වීරසිංහටය.

​රෝහණ අයියේ මට ඕනෑ ඉස්සර කාලේ බෙග් මාස්ටර් කියපු සිංදු වල වගේ මෙලඩි එකක්.

එසේ කී දීපිකා රෝහණ වීරසිංහයන්ට රඹුකන හාමුදුරුවන්ගේ ගී පද මාලාව යැව්වාය.

ඇය පැතූ අයුරින්ම මියුරු සංගීතයකින් සෑදුණු ගීතයක් නිර්මිතව තිබිණි.

ගීතයේ පටිගත කිරීම් කෙරුණේ පෙබරවාරියේය. ළඟ එන වෙසක් උළෙල වෙනුවෙන් වීඩියෝවක් ද සහිතව ගීතය නිකුත් කිරීමට අවශ්‍ය වුවත් දීපිකාගේ ඒ සිහිනයට ඉඩ නොදී කොරෝනාව ලංකාවට ද ආවේය. රට හුදෙකලා කෙරිණි. ඒ හුදෙකලාව දීපිකාට ද දැනිණි.

එහෙත් වෙසක් උළෙල වෙනුවෙන් ගීතය මුදා හැරීමේ අදහස වෙනස් නොකළ දීපිකා රූප රචනය උදෙසා දෙතැනක සිට රූපරාමු ගත්තාය.

අන්තිමේදී ස්වර්ණවාහිනියේ විකාශය වු වෙසක් වැඩසටහනකදී ප්‍රථම වරට ඉදිරිපත් කරමින් ගීතය ජනගත කෙරිණි.

මෙය දීපිකා එතෙක් මෙතෙක් ගැයූ ගීතාවලියට වඩා සපුරාම වෙනස්ය. එහෙත් ඉෂාක් බෙග්ගේ ගැඹුරු භාවපූර්ණ කටහඬ සමග දීපිකාගේ කටහඬ අපූරුවට පෑහිණි.

මින්මතු එන හැම වෙසක් සමයකදීම බෙග් මාස්ටර්ගේ ගීත සමග මේ නවතම ගීතය ද අපට අසන්නට ලැබෙනු ඇතැයි සිතමි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares