Lanka Focus News

මේ අවස්ථාව නැති කරගන්න බැහැ – රනිල්

මේ අවස්ථාව නැති කරගන්න බැහැ – රනිල්

ශ්‍රී ලංකාවට ලබාගත හැකි සෑම ආධාරයක්ම හැකි ඉක්මණින් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ලෝකේ තිබෙන උද්ධමනය නිසා රටවල් ගණනාවක් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න තිබෙන බව පේනවා.”

“මේ අර්බුදය තව මාස කිහිපයක් ගියොත් රටවල් 70ක් පමණ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙයි කියලා ගෝලීය ආර්ථික පදනමේ තිබුණු රැස්වීමෙදි ප්‍රකාශ වුණා.”

“දැනට අමෙරිකාවේ සහ යුරෝපයේ මුදල් යොදවන්නේ යුක්‍රේනයේ යුද්ධය සඳහායි.”

“ඒ නිසා අපිට ලබාගන්න තිබෙන ආධාර මුදල් අඩුවෙනවා.”

“ඒ නිසා අපි ඉක්මණින් අපේ සැලැස්ම හදාගෙන මේ අවස්ථාවේදීම පුළුවන් ආධාර සියල්ලම ලබාගන්න ඕනේ.”

“අපි මේක කල්දැම්මොත් ඒ ආධාර ලබාගන්න තිබෙන අවස්ථාව නැති වෙනවා.”

“ඉන්ධන, ගෑස්, පොහොර ලබාගන්න අපිට අවශ්‍යයි.”

මේ අතර ඉදිරියේදී තමා ඉදිරිපත් කරන අයවැයෙන් වියදම් කපා හැර එම මුදල් සමාජ සුබසාධනය සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බවත්, නැවත බදු ඉහළ දැමීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති අවසන් වටයේ සාකච්ඡා සඳහා ඊයේ දිනයේ මා එක්වුණා. ඔවුන් ලබාදුන් යෝජනා අපට අනුමත කිරීමට හැකිවුවත් එහි එක් ප්‍රශ්නයක් තිබෙනවා.”

“ඒ IMF එකට අවශ්‍යයි 2025 වනවිට අපගේ අයවැය තුළින් 2%ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම ඉක්මවා යෑමට.”

“වර්තමාන තත්ත්වය සලකාබැලීමේදී 2023 වසරේ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම ගෝලීයව සුදුසු තත්ත්වයක් නොතිබේවි.”

“ඒ නිසා මම යෝජනා කළා 1%ක ප්‍රතිශතයක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යෑම අපගේ ඉලක්කය වන බව.”

“එමෙන්ම ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකරන බව මම ප්‍රකාශ කළා. අපි අපගේ ක්‍රමවේදයන් සහ ආර්ථික වැඩපිළිවෙල වෙනස් කළ යුතුයි.”

“බදු ඉහළ දැමීමක් සිදුවෙනවා. නමුත් අයවැය ප්‍රධාන ඉලක්කය අපගේ වියදම් කපාහැරීම. සෞඛ්‍ය සහ අධ්‍යාපන හැර. ඒ තුළින් ලැබෙන මුදල් සමාජ සුබසාධනයට යොමු කරනවා.”

“ජනතාවගේ පීඩාවන් සහ තරහව මට දැනෙනවා. ඇතැම් අයට එක වේලක් සපයා ගන්න බැහැ.”

“IMF සාකච්චා අවසන් වූ පසු අපි චීනය සමග සාකච්ඡා කරන්න සූදානම්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි චීනය සමග ණය උගුලක නැහැ. චීනය සහ ජපාන ණය ප්‍රතිශතයන් සමාන වුවත් චීනයට ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ඉහළයි.”

මේ අතර පැහැදිලි ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය NDTV නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles