Lanka Focus News

මාලිංග තවමත් නිල වශයෙන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන නැහැ

මාලිංග තවමත් නිල වශයෙන් ක්‍රිකට් පිටියෙන් සමුගෙන නැහැ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ඉකුත් 14 වැනිදා වීඩියෝවක් මගින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත්කර සිටියද, අදාළ සමුගැන්ම සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් මාලිංගගෙන් ලිඛිතව විමසා තිබුණ නමුත් මේ දක්වා ඊට ප්‍රතිචාර ලැබී නොමැති බව ද ඒ සමගම වාර්තා වේ.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුවත් කරලා නැහැ. නමුත් එකී සමුගැන්ම සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න කියලා අපි ඔහුව දැනුවත් කරලා තියෙනවා. තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ නිසා ක්‍රිකට් ආයතනය වශයෙන් ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි.’ යනුවෙන් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු ‘අරුණ’ වෙත පැවසීය.

මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) නිල වෙබ් අඩවිය, නිල ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ විවිධ සටහන් තබා තිබුණි. අයි.පී.එල්. තරගාවලියේ මාලිංග නියෝජනය කරනු ලැබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද, මාලිංගගේ සමුගැන්ම සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කොට තිබුණු අතර ලොව පුරා විසිරී සිටින ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අදාළ සමුගැන්ම වෙනුවෙන් සුබ පැතුම් එක්කොට තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකුගේ මෙම සමුගැන්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ, නිල ෆේස්බුක් ගිණුමේ, ට්විටර් ගිණුමේ හෝ ඉන්ස්ටග්‍රැම් සමාජ මාධ්‍යයේ කිසිදු සටහනක් තබා නොතිබීම මාතෘකාවක් බවට පත්විය. නමුත් මාලිංග නිල වශයෙන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැතිව තිබියදී, එවැනි සටහනක් තැබීමේ හැකියාව නොමැති බැව් පැවසේ.

පළමුවෙන් එක්දින ක්‍රිකට් පිටියටත්, දෙවනුව එක්දින ක්‍රිකට් පිටියටත් සමුදුන් මාලිංග 14 වැනිදා පළ කළ විඩියෝවේ සඳහන් වූයේ විස්සයි විස්ස ඇතුළු සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමු ගන්නා බවය. 2014 වසරේ ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානය දිනාදුන් නායකයා වූ මාලිංග සමු ගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 84කට සහභාගි වී එහිදී බිඳහෙලා තිබුණු මුළු කඩුලු සංඛ්‍යාව 107කි. එය සටහන් වූයේ විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා වශයෙනි.

administrator

    Related Articles

    Close
    shares