Lanka Focus News

මහාපරිමාණ මෝල්හිමියන්ට බරපතළ චෝදනාවක්

මහාපරිමාණ මෝල්හිමියන්ට බරපතළ චෝදනාවක්

මෙරට මහාපරිමාණ මෝල්හිමියන් වසරකට සෑහෙන වී සංචිත සඟවාගෙන සිටින බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (12) අනාවරණයක් සිදුකළේය.

නමුත් අධික ලාභයක් ලබාගැනීමේ අරමුණින් කෘතිමව වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට එම සංගමය චෝදනා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා,

“පොළොන්නරුවේ දැන් ගියොත් මේ මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ලොරි රථ 75ක් නැත්කම් 100ක් දිනපතා ඉන්ධන පෝලීම්වල තියනවා. හැබැයි මේ ඉන්ධන පුරවගත්තාට පස්සේ මේ ප්‍රමාණයට අදාළව හාල් ප්‍රවාහනයක් වෙන්නේ නැහැ. අපි මේ ප්‍රකාශය වගකීමෙන් කියන්නේ. එතකොට චේතනාන්විතව යම් සැලසුමකට අනුව වෙළෙඳපොළ තුළ මේ වෙද්දි සහල් හිඟයක් නිර්මාණය කරමින් ඉන්නවා. එකේ අරමුණ තමයි ඔය මහපරිමාණ මෝල් හිමියන් අර පසුගිය කාලයේ රුපියල් 100ට ඊට ඉස්සරලා කන්නයේ රුපියල් 60 – 70ට ගත්ත වී ටික වැඩි මිලට සහල් කරලා අලෙවි කිරීමේ අමුණින් රට තුළ සහල් හිඟයක් නිර්මාණය කරමින් පවතිනවා. මේ මහාපරිමාණ මෝල් හිමියන් සතුව මේ වෙද්දි වී මෙ.ටො ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ගබඩා තුළ තියෙනවා. ඒ වී තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 50ක්. හරියටම මාස 12ක් අඛණ්ඩව සහල් නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන් මේ වී තොගය පාවිච්චි කරලා. හැබැයි මේ සියලු දේවල් රජය දන්නවා. මේ සියලු දේවල් පාරිභෝගික කටයුතු අධිකාරිය දන්නවා. මේ සියලු දේවල් කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නවා. හැබැයි කිසිදු පියවරක් ගන්නේ නැහැ. දේශිය සහල්වලට උපරිම සිල්ලර මිලක් නියමකරලා වැඩක් නැහැ. මොකද වෙළෙන්දන්නට පුළුවන් ඒ දේශිය සහල් හිතූ හිතූ මිල ගණන්වලට විකුණලා කියන්නේ මේ අනානයනික සහල් කියලා. මේ හාල් ඇටේ අල්ලා බලලා ඉවරවෙලා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට කියන්න බැහැ මේ දේශිය සහල් ද ? විදේශිය සහල්ද ? කියලා. ඒ හින්දා අපි ඉල්ලීමක් කරනවා වහාම ආනයනික සහල් සඳහාත් උපරිම සිල්ලර මිලක් දාන්න.”

මෙවැනි පසුබිමක වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා සඳහන් කළේ රජය සතු වී මෙට්‍රික් ටොන් 43,000ක සංචිතයක් පවතින අතර ඒවා සහල් බවට පත්කර සහන මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව, සුදු හා රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 197ක්, සුදු හා රතු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 199ක්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 205ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 215ක් වශයෙන් සහන මිලට අලෙවි කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

සතොස, සමූපකාර හා සුපිරි වෙළෙඳසල් මගින් ලබාදෙන ඇණවුම් මත එම සහල් හෙට සිට පාරිභෝගිකයින් වෙත නිකුත් කෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

සහල් තොග සඟවාගෙන සිටි හා වැඩි මිලට අලෙවි කළ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් මාතර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද පස්වරුවේ වැටලූ අතර එහිදී මිල සඳහන් නොකළ උරවල බහා තිබූ සහල් කිලෝග්‍රෑම් 6000කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණි.

වෙළෙඳසැලේ හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම මොනරාගල ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තබාගෙන සිටි සහල් කිලෝග්‍රෑම් 2,525ක ප්‍රමාණයක් මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සොයාගත් අතර එම වෙළෙඳසල් හිමිකරුටද එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

දේශීය සුදු කැකුළු, රතු කැකුළු, නාඩු, සම්බා හා කීරි සම්බා යන සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබුණද වෙළෙඳපොළේ එම පාලන මිල ක්‍රියාත්මක නොවන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නඟති.

administrator

Related Articles