Lanka Focus News

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බය ඇටවූ සැකකරුවන් සොයා පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බය ඇටවූ සැකකරුවන් සොයා පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අටවා තිබූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඉන් පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති අතර පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

“බොරැල්ල දේවස්ථානයකදී ජනවාරි 11 වනදා අත්බෝම්බයක් සොයාගත්තා. මේ ගැන මුලින්ම විමර්ශන කළේ බොරැල්ල පොලීසිය. ඉන්පසු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම විමර්ශන භාරගත්තා.”

“මෙම විමර්ශනයේදී අදාළ CCTV දර්ශන උපයෝගී කරගත්තා. එම තොරතුරු සහ පරිවේෂණ සාක්ෂි මගින් ද වැඩිදුර සාක්ෂි මගින් ද අනාවරණය වුණු තොරතුරු මත තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතිනවා.”

“මේ වනවිට ප්‍රකාශ 14ක් සටහන් කර තිබෙනවා. ඊට අමතරව සියලු සාක්ෂි විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදුකරනවා.”

“විද්‍යාත්මක, තාක්ෂණික, පරිවේෂණ සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රයන්වල විශේෂඥයින්ගේ සහය ලබාගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදුකරනවා. මෙම විමර්ශන තාමත් මූලික අවදියේ පසුවෙන්නේ.”

“මෙම අත්බෝම්බය දේවස්ථානය වෙත රැගෙන පැමිණි පුද්ගලයා හෝ පුද්ගලයින් කවුරුද?, කුමණ ප්‍රදේශයක සිට කුමණ අරමුණක් සඳහා මෙය සිදු කළේද?, ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය සිටීද?, ආධාර අනුබල ලබාදුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මකයි. විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙනවා.”

“ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා.”

“කොළඹ නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයෙන්ම අත්බෝම්බයක් හමුවුණා. මාස 3කට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් පසු එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නීතිය ඉදිරියට පැමිණවීමටත් හැකියාව ලැබුණා.”

administrator

Related Articles