Lanka Focus News

පාස්කු වාර්තාව පිළිබඳ විවාදය නැවතත් 7වනදා

පාස්කු වාර්තාව පිළිබඳ විවාදය නැවතත් 7වනදා

2019 අප්‍රේල් 21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 04 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණයකර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඒ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබාදීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනඑනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එමෙන්ම එදිනට මැතිවරණ ක්‍රම ව්‍යුහයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම්වරයා පැවසීය.

ඊට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණයකර තිබේ.

අප්‍රේල් 06 වනදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ගේ ප්‍රශ්න 02ක් ඇසීම‍ සඳහා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනෙන පැයක කාල සීමාවෙන් විනාඩි 20 ක කාලයක් ලබාදීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares