Lanka Focus News

පාකිස්තානයෙත් උද්ධමනය ඉහළ ට

පාකිස්තානයෙත් උද්ධමනය ඉහළ ට




පාකිස්තානයේ ආහාරමය උද්ධමනය 30% දක්වා පමණ ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානයට බලපෑ ගංවතුර ආපදා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවය.

එරට අර්තාපල්, ලූනු, තක්කාලි වැනි ආහාර කාණ්ඩයේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වැසි හේතුවෙන් පාකිස්තානයේ සිදුවූ ජලගැනීම් නිසා වගාබිම් විනාශවීම මෙම ගැටලුවලට මූලික හේතුවී තිබේ.

විදෙස් සංචිත හිඟවීම නිසා ආනයනයට සීමාපනවා ඇති පසුබිමක පාකිස්තානය තුළ දැඩි ආහාර අර්බුදයක් මතුවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ගංවතුර තත්ත්වයට පෙර එරට මුදලින් රුපියල් 50ක්ව පැවැති ලොකු ලූනු කිලෝවක මිල මේ වනවිට රුපියල් 300 ඉක්මවා ගොස් ඇත.

ඊට අමතරව ඉවුම් පිහුම් සඳහා භාවිත කරන තෙල් වර්ගවල මිල ගණන් සීයයට 400කින් පමණ ඉහළගොස් ඇතැයි ද වාර්තා වෙයි.

පවතින තත්ත්වය හමුවේ පාකිස්තානයේ ජීවන වියදම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම අක්කර මිලියන 3.6ක ගොවිබිම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේ පාකිස්තානය දැවැන්ත ආර්ථික පරිහානියකට පත්වී ඇති අවස්ථාවකදීය.

පාකිස්තානයට අධික වර්ෂාව සහ ජලගැලීම් ඇතිවීම හේතුවෙන් එරට ජනගහනයෙන් මිලියන 33කට බලපෑම් එල්ලවී ඇති අතර අයහපත් කාලගුණය ආශ්‍රිත ආපදාවලින් මියගිය ගණන 1,325කි.

මතුවී ඇති ජලගැලීම්වලින් පාකිස්තානයේ සමස්ත භූමියෙන් 3න් 1කට බලපෑම් එල්ලවී ඇති අතර ඉන් වැඩිම හානිය සිදුවී ඇත්තේ උතුරුදිග ප්‍රාන්ත වෙතය.

ජලගැලීම්වලින් සිදුව ඇති ඇස්තමේන්තුගත දේපළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 10කි.

පවතින අසීරුතා හමුවේ ජනතාවට සහන සැපයීම සඳහා ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටීමටත් පාකිස්තාන බලධාරීන්ට සිදුවී තිබේ.

එමෙන්ම පිරිසිදු පානීය ජලය සපයා ගැනීමට නොහැකිව එරට පුරා පාචනය වැනි වසංගත රෝගීන් වාර්තාවීම ද ඉහළ යමින් පවතී.

ජලගැලීම සමග දැනටමත් පාකිස්තානයේ නිවාස මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, මාර්ග කිලෝමීටර් 5,700ක් සහ පාලම් 246ක් මුළුමනින්ම හානියට පත්වී ඇත.




administrator

Related Articles