Lanka Focus News

නැන්සි පෙලෝසිගේ සංචාරයට එරෙහිව චීනයෙන් ප්‍රතිචාර

නැන්සි පෙලෝසිගේ සංචාරයට එරෙහිව චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකානු කථානායිකා, නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය හේතුවෙන් චීනය මේ වනවිට දැඩි ලෙස උදහසට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊට ප්‍රතිචාරයක් ලෙස කාම්බෝජයේදී සිදුකිරීමට නියමිතව තිබූ චීන විදේශ අමාත්‍ය සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් අවලංගු කිරීමට ද චීනය පියවර ගෙන ඇති බව සඳහන් ය.

මෙම හමුව අවලංගු කිරීම සාධාරණීයකරණය කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාම්බෝජියාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට චීන විදේශ අමාත්‍යවරයා කිසි ලෙසකින් හෝ සැලසුම් කර නොතිබුණු බවය.

එමෙන්ම අමෙරිකානු රාජය ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට තරම් අවශ්‍යතාවක් මේ මොහොතේ විදේශ අමාත්‍යවරයා හට නොමැති බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ අදාළ ප්‍රකාශකයා සඳහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවන් පසුබිමක් තුළ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සාවද්‍ය අර්ථ කථනයන් සිදුකරමින් සිටින බව චීනය චෝදනා එල්ලකර තිබේ.

මේ අතර කථානායක නැන්සි පෙලෝසිගේ මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ කථානායකවරියගේ ආසියානු සංචාරය සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ඇය බවය.

කථානායකවරිය තායිවානයට යන්නේ නම් එය ඇයගේ තීරණයක් බවත් එවන් තත්ත්වයකදී වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සහ කිසිදු අර්බුද නිර්මාණය කිරීමකට කටයුතු නොකරන බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබුණි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීම ඓතිහාසික වන අතර එය ඉතිහාසයට එක්වන්නේ වසර 25 කට පසු අමෙරිකාවේ ඉහළ නිලධාරියෙක් තායිවානයට පැමිණි පළමු අවස්ථාව ලෙස බවත්ය.

කෙසේවෙතත් මෙම සංචාරය සම්බන්ධයෙන් චීනය මේ වනවිටත් ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරමින් සිටින අතර හමුදා අභ්‍යාසයක් ද සිදු කරමින් සිටී.

කථානායිකා නැන්සි පොලොසි යම්හෙයකින් තායිවානය වෙත සංචාරය කළහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට අමෙරිකාවට සිදුවනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත පසුගියදා සෘජු අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ඇය තායිවානයේ රැඳී සිටි කාලය තුළ පමණක් එරට ගුවන් සීමාව අතික්‍රමණය කරමින් චීන ගුවන්යානා 21ක් පැමිණි බව තායිවානය දැනටමත් තහවුරු කර තිබේ.

එමෙන්ම ලබන ඉරිදා තෙක් ක්‍රියාත්මක වනපරිදි තායිවානය වටා මුහුදේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමටත් චීනය පියවර ගත්තේය.

අදාළ ක්‍රියාව හෙලාදකිමින් තායිවාන ජනාධිපතිනී සායි ඉන් වේන් පවසන්නේ, මෙය අනවශ්‍ය ප්‍රතිචාරයක් බවය.

තායිවානය තම පාලනය යටතේ පවතින ප්‍රාන්තයක් ලෙස චීනය සලකන නමුත් තායිවානය ස්වයං පාලන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

administrator

Related Articles