Lanka Focus News

තලේබාන් නීතිවලට යටත් වූ ඇෆ්ගන් නිවේදිකාවෝ

තලේබාන් නීතිවලට යටත් වූ ඇෆ්ගන් නිවේදිකාවෝ

තලේබාන් නීතිවලට යටත් වෙමින් ඇෆ්ගනිස්තානයේ නිවේදිකාවන් මුහුණ ආවරණය කරගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ, අත්දැකීම තමන්ට අපහසුවක් ගෙනදුන් එකක් බව ප්‍රවෘත්ති නිවේදිකාවක් මාධ්‍යයට පවසා තිබුණි.

නිවේදිකාවන් ඇතුළුව රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටින සියලුම කාන්තාවන් මුහුණ ආවරණය කර සිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් නීතියක් පැනවූවේ පසුගිය සතියේදීය.

මීට සති දෙකකට පමණ පෙරදී, සියලුම කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණ ආවරණය කර සිටිය යුතු බවටත් ඔවුන් නීතියක් ගෙන ආවේය.

එහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා භාවිතයට ගෙන ඇති ආරක්ෂිත මුහුණු ආවරණ වුවද පැලඳිය හැකි බව තලේබාන් පාලකයන් සඳහන් කළේය.

නිවේදිකාවන් සම්බන්ධයෙන් වන මුහුණු ආවරණ නීතිය මේ වන විට එරට මාධ්‍ය ආයතන තුළ ක්‍රියාත්මකය.

ජනතාව තුළ විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා ප්‍රවෘත්ති නිවේදකයන් සෑම විටම නිදහස් හා ලිහිල් බවකින් යුක්තව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතු බව ටෝලෝ ටීවී නාළිකාවේ මාධ්‍යවේදිනියක වන සෝනියා නියාසි පැවසුවාය.

නමුත් මුහුණ ආවරණය කිරීමට සිදුවීම හේතුවෙන් වෘත්තිය දිවියේ පළමු වරට තමා අපහසුතාවයකින් යුතුව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ආගමික හේතූන් මත බොහෝ ඇෆ්ගන් කාන්තාවන් හිස ආවරණය කරන නමුත් නාගරික ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් ඇතුළු බහුතරයක් මුහුණ ආවරණ කළේ නොමැත.

නමුත් 1996 – 2001 අතර කාලයේ පැවති තලේබාන් මුල් පාලන සමය තුළ කාන්තාවන් නිල් පැහැති බුර්කාව පැලඳීම අනිවාර්ය වුණි.

2001දී තලේබාන් පාලනය පෙරළීමෙන් අනතුරුව මේ නීතිය අහෝසි වූ අතර කාන්තාවන්ට රැකියා කිරීම, නිසි අධ්‍යාපනය ලැබීම වැනි අයිතීන්ද හිමිවී තිබුණි.

ඉකුත් වසරේ ඇෆ්ගනිස්තානයේ බලය යළි හිමි කරගැනීමෙන් පසු තලේබාන්වරු පැවසුවේ කාන්තා අයිතීන්ට ගරුකරන බවය.

නමුත් මේ වන විට ඇෆ්ගන් කාන්තාවන්ගේ අයිතීන්ට තලේබාන් යටතේ සීමා පැනවී ඇති අයුරු දක්නට ලැබෙයි.

administrator

Related Articles