Lanka Focus News

ජපානයට හදිසි තත්ත්වයක්

ජපානයට හදිසි තත්ත්වයක්

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමඟ ඔසාකා ඇතුළු ජපානයේ ප්‍රදේශ තුනකට අර්ධ වශයෙන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර එරට නව කොවිඩ් පාලන සීමා ලබන සඳුදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ජපානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 2,458ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවූ නව මරණ ගණන 10 කි.

ඒ අනුව ජපානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 485,325ක් වන අතර ඉන් පුද්ගලයින් 452,155ක් සුවය ලබා තිබේ. පුද්ගලයින් 9,231ක් කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර, එංගලන්තයේ ලොක්ඩවුන් සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මත්පැන්හල්, අවන්හල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ කොණ්ඩ කපන ස්ථාන නැවත ලබන සඳුදා සිට විවෘත කෙරෙනු ඇත.

කෙසේවෙතත් අගමැති බොරිස් ජොන්සන් එරට රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් ප්‍රවේශම් වන ලෙසය.

මේ අතර, රට තුළ පැතිරයමින් පවතින මාරක කොවිඩ් වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඊයේ ඉන්දියාවෙන් 96,000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී තිබුණි.

මේ දක්වා එන්නත් මිලියන 80ක් පමණ ලබා දී ඇති අතර ඉන් වැඩි දෙනෙකු අත්‍යවශ්‍ය සේවාවලට අයත් සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ය.

කෙසේවෙතත් ගත වූ පැය 24 තුළ ගෝලීය කොවිඩ් මරණ 7,255ක් වාර්තා වී ඇති අතර, නව ආසාදිතයන් සංඛ්‍යාව 468,098ක් හඳුනාගෙන තිබේ.

ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 132,475,786ක් වේ.

කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 2,875,503කි.

administrator

    Related Articles

    Close
    shares