Lanka Focus News

ජනපති පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරයි

ජනපති පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරයි




සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවති බවය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් පළමු සාකච්ඡා වටයට එක්වී ඇති අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පවත්වා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට සහභාගී වී ඇත.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පවත්වා ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගීවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව ජනාධිපතිවරයා අද (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළකර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී ඇත.




administrator

Related Articles