Lanka Focus News

ගෝලීය monkeypox අසාදිතයින් 17,000 ඉක්මවයි

ගෝලීය monkeypox අසාදිතයින් 17,000 ඉක්මවයි

ගෝලීය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති වඳුරු උණ රෝගයට ගොදුරු වූ ලොවපුරා පුද්ගලයින් ගණන අද වනවිට 17,000 ඉක්මවා තිබේ.

අසල්වැසි ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති පසුබිමක එම රෝගය වැලඳී ඇති බවට සැකකෙරෙන 40 හැවිරිදි තවත් පුද්ගලයෙකු තෙලන්ඟානා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.

ඔහු කුවේට්හි සිට ඉන්දියාවට පැමිණ ඇත්තේ පසුගිය ජූලි 06 වනදා වන අතර උණ සහ සමේ බිබිලි සහිත තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් හයිද්‍රාබාද්හි රජයේ රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ අතර සිංගප්පූරුවෙන් නව වඳුරු උණ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එම ආසාදිතයින් දෙදෙනාගෙන් අයෙකු ලන්ඩන් සිට පැමිණි එස්තෝනියානු ජාතිකයෙකු වන අතර දෙවැනි ආසාදිතයා සිංගප්පූරු ජාතිකයෙකි.

ඔවුන් දෙදෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින් සමග කිසිදු සබඳතාවක් නොපැවැත්වූ අය වීමද විශේෂත්වයකි.

මේ දක්වා එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 08කි.

තායිලන්තයෙන් පළමු වඳුරු උණ ආසාදිතයා ලෙස තහවුරු වූ එරට දීර්ඝ කාලයක් රැඳී සිටි 27 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකු ඔහුගේ පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර රටින් පිටව ගොස් ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේය.

ඔහුගේ ආශ්‍රිතයින් ලෙස තායිලන්තයේ පුද්ගලයින් 142 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන අතර පසුව ඔහු කාම්බෝජයට පැමිණ සිටියදී එරට සෞඛ්‍ය බලධාරීන් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර ජපානයෙන් පළමු වරට “Monkeypox” වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

එරට රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බවය.

වැඩිදුරටත් වාර්තා වන්නේ එම වඳුරු උණ ආසාදිත අදාළ පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන බවය.

වඳුරු උණ රෝගය ගෝලීයව පැතිරෙන පසුබිමක මෙරට තුළ යළිත් කොවිඩ් 19 ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

අද වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 25 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කඩිනමින් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම හා මුව ආවරණ නිසි ලෙස පැලඳීම සම්බන්ධයෙන් ජනතාව යළිත් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

මේ වසරේ මුල් මාස 6 තුළ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10කටත් අඩු මට්ටමක පැවතියත් ජූලි මාසයේ මුල් සතියේ සිට දෛනික ආසාදිතයින්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ 60 – 70ත් අතර අගයකය.

අද දිනයේ වාර්තා වූ බවට රජය තහවුරු කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75කි.

පසුගිය සතියක කාලය තුළ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කරන කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද වනවිට කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඒ අතරින් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 02ක් රජය අද නිවේදනය කර තිබේ.

මේ අතර රෝගී තත්ත්වයක් හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි 73 හැවිරිදි පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබූ අතර කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතු වී ඇතැයි රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මෙවැනි පසුබිමක මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය හා මෙතෙක් කොවිඩ් තුන්වන හා සිව්වන මාත්‍රා ලබානොගත් පුද්ගලයින් කඩිනමින් එම මාත්‍රා ලබාගැනීම සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

administrator

Related Articles