Lanka Focus News

ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන සමයං හා ඌරු ජුවාගේ සමීපතම ගෝලයෙකු බව කියන උෂාන් චතුරංග නමැත්තෙකු ගිනි අවියක් සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (05) නවගමුව රණාල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ මදුරුවල ආරච්චිගේ උෂාන් චතුරංග විමලවීර නැමැති සැකකරු 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවය.

ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, පතොරම් ගැබ් 01ක් සහ මිලිමීටර්. 6.35 වර්ගයේ ජීව උණ්ඩ 02ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඌරු ජුවා නමින් හැඳින්වෙන පුද්ගලයා මියයෑමෙන් පසු ඔහුගේ මුදල් භාවිත කරමින් මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මෙහෙයවීම හා මුදල් පොළියට දීම මොහු විසින් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුගේ මිතුරෙකු වන චතූ නොහොත් ‘බක්කා’ නැමැත්තාට පසුගිය 09 වනදා අකිල නමැති පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබුණි.

එයට පළිගැනීමක් ලෙස අකිල නමැත්තාගේ නිවසට පහරදී වාහනය ගිනිතබා ඔහුව ඝාතනය කිරීම සඳහා සැකකරු විසින් කුමන්ත්‍ර‍ණ කරමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම පුද්ගලයා මීට පෙර මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගින අවි 02ක් හා මත්ද්‍ර‍ව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සැකකරු විසින් කඩුවෙල හා නවගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විවිධ අපරාධ සිදුකර ඇති බවට කරුණු ආනාවරණය වී ඇත.

administrator

Related Articles