Lanka Focus News

කොවිඩ් රැල්ලක් අත ළඟ ?

කොවිඩ් රැල්ලක් අත ළඟ ?

බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් -19 පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

අද (25) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනතාව මීට පෙර අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවත අනුගමනය කිරීම කළ යුතු බවය.

මුඛ ආවරණ පැලඳීම, මීටරයේ දුර තබාගැනීම, අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශීවීම් අවම කරමින් මුඛ ආවරණ පැලඳීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් ලෙස මෙය හඳුන්වන බව ද පැවසු වෛද්‍යවරයා, මෙය සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත බව ද පැවසීය.

එසේ වුවද ලංකාව තුළ පවතින තත්ත්වය තවමත් පාලනය කළ හැකි මට්ටමේ පවතින බව ද සඳහන් කළ වෛද්‍ය අන්වර් හම්දානි මහතා, මරණවල ද සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව කියා සිටියේය.

දැනට පවතින තත්ත්වය තුළ රට තුළ කොවිඩ් රැල්ලක් නිර්මාණය වන්නේ ද නැත්නම් අවස්ථාවක් ලෙස මෙය පාලනය කළ හැකිද යන්න පිළිබඳ සම්පුර්ණ වගකීම අප සියලුදෙනා සතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“මුඛ ආවරණය පැලඳීම තුළින් ඔබට කොවිඩ් -19 පමණක්ම නෙමෙයි අනෙකුත් ස්වසන ආබාධවලින් වැළකී සිටිමට ද හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ අවස්ථාවේ දී හතරවන මාත්‍රාව නිර්දේශ කරලා තියෙනවා. ඒක හැකි ඉක්මනින් ලබාගන්න. අපිට ඇති තරම් සක්‍රීය තත්ත්වයේ එන්නත් තියෙනවා. සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මඟින් ඒක ලබාගන්න කියලා ආයාචනා කරලා සිටිනවා. මෙවැනි අවස්ථාවන් තුනකට අපි මීට පෙර මුහුණ දීලා තියෙනවා. සාර්ථක ලෙස අපි ඒවා ජයගෙන තියෙනවා. ඒ අනුව අද අපි ජන ජීවිතය ගත කරන්නේ.

මෙම තත්ත්වයේ දී සංකූලතාවලට ගොඳුරු වෙන්නේ 60ට වැඩි නිදන්ගත රෝග සහිත පුද්ගලයින්. ඒ නිසා ඔවුන්ව සෑම වේලාවක උත්සුක වෙන්න ඕනේ ඒ පුද්ගලයින්ට එන්නත ලබාදීම පිළිබඳව. 60ට වැඩි සංකූලතාවයක් තියෙන ඕනෑම අයෙකුට සක්‍රීය එන්නත් ලබාගන්න කියලා කියනවා. මේ අනු ප්‍රභේදය මේ වනවිට රටවල් ගණනක පැතිරිලා තියෙනවා. අසල්වැසි රටවලට ඔය ප්‍රභේදය ඇවිත් මාසයකට සති දෙකකට පස්සේ අපේ රටට ඔය ප්‍රභේදය ඇතුළු වෙනවා. ඒ නිසා මතක තබාගත යුත්තේ කොවිඩ්වලට අමතරව ඩෙංගු වෛරසට පැතිරගෙන යනවා. ඒ වගේම උණ, කැස්ස වැනි සාමාන්‍ය වෛරසයකුත් පැතිරගෙන යනවා. ඊට අමතරව ලෝකයේ වෙනත් රටවල මන්කිපොක්ස් වෛරසය පැතිරීගෙන යනවා. ඒ සමගම ඉන්දියාවෙන් රෝගීන් වාර්තා වෙනවා. හැමවේලේම අපි පරිස්සම් වෙන්න ඕනේ.

ඔබේ යුතුකම තමා නිසි සෞඛ්‍ය සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම ඉටුකරන්න. එන්නත්කරණයට යොමුවෙලා නැත්නම් කොවිඩ් එන්නත ලබාගන්න උත්සුක වෙන්න‍.”

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඊයේ (24) දිනයේ කොවිඩ් රෝගීන් 56 දෙනෙක් වාර්තා වු බවය.

administrator

Related Articles