Lanka Focus News

කොටස් වෙළෙඳපොළ වසා දැමූ හේතුව මෙන්න

කොටස් වෙළෙඳපොළ වසා දැමූ හේතුව මෙන්න

දැනට රට තුළ පවතින විශේෂිත ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන ආයෝජකයින්ට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට අපහසු වී ඇති බවත්, ආන්තික ණය පහසුකම් මත කොටස් මිල දී ගෙන ඇති ආයෝජකයින් පිළිබඳ ද අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නව පනතෙහි විධිවිධානවලට අනුව දින 5 ක කාලයක් සඳහා පමණක් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත්, කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (18) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

“සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 24 වෙනි වගන්තිය අනුව කොටස් වෙළෙඳපොළ මගින් ශ්‍රී ලංකාව තුළ සාධාරණ, විධිමත්, විනිවිධභාවයෙන් යුතු සහ කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වගකීමක්. 27 වගන්තිය අනුව ආයෝජකයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මහජන සුභසිද්ධිය උදෙසා කටයුතු කිරීම කොටස් වෙළෙඳපොළේ වගකීමක්“, යනුවෙන් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දිල්ශාන් වීරසේකර මහතා පැවසුවේ, ආයෝජකයින් වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය වීමක් සිදුනොවන බැවින් මෙය ගනු ලැබූ තාවකාලික පියවරක් පමණක් බවයි.

“කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතුය යන පදනමේ තමයි අපි ඉන්නේ. දැන් තියෙන වාතාවරණය අනුව, ආයෝජකයින් වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය වීමක් සිදුනොවන නිසා තාවකාලිකව මේ තීරණය අරගෙන තිබෙනවා“.

administrator

Related Articles