Lanka Focus News

කුලියාපිටිය රෝහලේ සේවක මණ්ඩලයේ 14කට කොරෝනා

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (20) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

වෛද්‍යවරුන් සිව්දෙනාට අමතරව රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.

මේ වන විට එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති බව වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.

මේ අතර හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

එම හෙදියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් හෙද නිලධාරිනියන් දස දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares