Lanka Focus News

කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරනවා – ජනපති

කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරනවා – ජනපති

දූෂණ සහ අක්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙන අතරතුර ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙන ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇති බවත් කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට පවසා තිබේ.

එසේම උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා 150,000ක් ලබාදීම මැතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අපේක්ෂක ජගත් අංගගේ මහතා පානදුර නගර සභා පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් දිස්ත්‍රික්කයේ අඩු පාඩු ගැන විමසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පානදුර කොරොස්දූව ක්‍රිඩාංගණයේ සංවිධානය කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා 2021 වසරේ අ.පො.ස උසස් පොළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉගෙනුමට බාධා එල්ලවීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද එම හමුවට එක්ව සිටි සිසුහු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කළුතර හෙද විදුහල අලුත්වැඩියා කිරීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා පානදුර මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම ඉටුකිරීමට ජයන්ත සමරවීර මහතාට භාර දී තිබේ.

administrator

    Related Articles

    Close
    shares