Lanka Focus News

කළු කුමාරයාගේ හැන්දෑව

කළු කුමාරයාගේ හැන්දෑව

කළු කුමාරයාගේ හැන්දෑව’ මේ හැන්දෑවට එන්න කියලා පසුගිය දිනෙක අපට ආරාධනා කරලා තිබුණෙ ‘සජිත අනුත්තර’. මේ සජිත අනුන්තර කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ඒ ඔහු කාගේ කවුද මොනවද කරන්නෙ කියලා රටම දන්නා නිසා. මේ කළුකුමාරයාගේ හැන්දෑව ඔහු හඳුන්වලා තිබුණෙ. සජිත අනුන්තර ඇන්තනිගෙ පළමු නිර්මාණ පුපුර කියලයි. ඒ තමයි ඔහුගෙ ‘කළුවර’ නමැති මියුසික් වීඩියෝව එළිදැක්වූ මොහොත. පළමු නිර්මාණ පුපුර කියා ඔහු මෙය හැඳින්වූයේ මෙතෙක් රැඟුමෙන් ගැයුමෙන් නැටුමෙන් ඔහු අපට හමුවුවද ඔහුගේ නිර්මාණ අධක්ෂණය හමුවේ කළ ප්‍රථම අධ්‍යක්ෂණය නිසයි. ඒ ‘කළුවර’ට සාපේක්ෂව ‘සජිත’ මේ කතා බහ ‘එළිය’ කළේ මේ විදියටයි.

 

‘කළුවර’ නිර්මාණය කළ හැටි කියන්නට පෙර මෙතෙක් ඔබ ආ ගමන ගැන කෙටි සටහනක් තැබුවොත්?

මුලින්ම මම රඟපෑවේ ‘ඕෆ් රෝඩ්’ ජර්මන් චිත්‍රපටයේ. එතකොට මගේ වයස අවුරුදු 10යි. පසුව රංගන ශිල්පියකු ලෙස මුලින්ම දායක වූ ශ්‍රී ලාං​ෙක්ය චිත්‍රපටය ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගෙ ‘සුරිය අරණ’ එතකොට මගේ වයස අවුරුදු 13යි. මේ විදියට ඇවිත් සුමිත් කුමාර මහතාගේ කුරුළු පිහාටු සහ අප්පච්චිගෙ ‘අබා’ චිත්‍රපටයේ  රඟපෑවා. පසුව නාමල් ජයසිංහ මහතා අධ්‍යක්ෂණය කළ ‘බොහිමියානුවා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඉදිරියේදී මා දායක වූ චිත්‍රපට හතරක් තිරගත වීමට නියමිතයි. ප්‍රසන්න විතානගේ මහතාගේ ‘ගාඩි’ අප්පච්චි අධ්‍යක්ෂණය කළ ‘එකගෙයි සොකරි’. ශෂික හේරත්ගෙ ආදරය සමානයි. චන්න දේශප්‍රිය මාමාගෙ ‘දුස්රා’ ඒ චිත්‍රපට හතරයි. මේ අතරවාරයේදී, සරසවි ප්‍රවේශය ලබා ඉගෙනුම ලබමින් සිටියදී සිටි ඔෆ් ඩාන්ස් හතරවැනි අදියරේදී ප්‍රථමයා ලෙස කිරුළ දිනා ගැනීමට හැකි වුණා.

 

සජිත ගායනයට පිවිසියේ කොතැනින්ද?

අප්පච්චි රචනා කළ සනුක වික්‍රමසිංහ සංගීතවත් කළ ‘ස්වර්ණ පාලියේ’ මගේ පළවැනි නිර්මාණයයි. ඉන්පසුව ගීත හතරක් විතර ගායනා කළා. හැබැයි ගායනය, නර්තනය, රංගනය කළත් පොඩි කාලයේ ඉඳලම මට තිබුණු ලොකු හීනයක් තමයි අධ්‍යක්ෂණය. ‘කළුවර’ එහි ආරම්භයයි.

 

මොකක්ද මේ කළුවර?

‘කළුවර’ කියලා මේ ගීතයට නම් තැබීමට හේතුවක් තියෙනවා. මෙහි කියැවෙන්නෙ තරුණයකුගෙ ජීවිතයේ පැතිකඩ කිහිපයක්. මේ තරුණයා එයාගේ කුඩා කාලයේ ඉඳලම  තාඩන පීඩනවලට අකටයුතුකම්වලට මුහුණ දුන් කෙනෙක්. මෙයාගේ උපතේ සිට අවස්ථා හතරකින් මා එය පෙන්වීමට ප්‍රයත්න ගත්තා.

මෙයා ඉපදුනාම මව මෙයාව කුණු ගොඩක දාලා යනවා. වයස 10දී විතර නව ගැහැණු කෙනෙක් මෙයාව තවත් කාන්තාවකට විකුණනවා. දරුවා මිලදී ගන්න කාන්තාව පරපීඩිත කාමුකත්වයෙන් පෙළෙන කාන්තාවක්. දරුවා ඒ නිසා ඇයගෙ පීඩන, තාඩන වළටත් ලක්වෙනවා. පසුව තරුණ වියේදී ඔහුට හොඳින් කතා කරන කාන්තාවක හමුවෙනවා. ඇය මනෝවිද්‍යා අංශයේ චරිතයක් කියා අපි ගනිමුකො. මේ කාන්තාව තරුණයාට සෙනෙහසක් දක්වන අතරේ ඇයගෙන් බෙහෙත් ගැනීමට හෝ උපදේශනයට ආ වෙනත් මිනිසකු සමඟ එකට සිටින අයුරු මේ තරුණයා දැක ගන්නවා. මෙන්න මෙතැනදී තමයි තරුණයා කුඩා කාලයේ සිට විඳි වෛරය පුපුරා යන්නෙ. ඉතාම අඩු රූප පන්තියකින් වැඩි දෙයක් තියන්නයි මට ඕනෑ වුණේ.

 

එතකොට මෙයින් ඔබට ප්‍රකාශ කරන්න ඕනෑ වුණේ කුමක්ද?

කළු කුමාරයා කියන චරිතය එන්නෙ. අපේ සංස්කෘතියේ සහ ජනශ්‍රැතියෙ ඉඳලයි. ගැහැණුන්ට වෛර කරන චරිතයක් විදියට තමයි කළු කුමාරයා අපේ සමාජයේ හඳුනා ගැනීම වෙලා තියෙන්නේ. තනි පංලගමේ සිටින කාන්තාවන්ට කසාදයක් කර ගන්න නොදෙන චරිතයක් කියලා තමයි කළු කුමාර දිෂ්ටිය කියලා කියන්නෙ. ඒ කතාව අපි පැත්තකට කරලා සමාජයේ කළු කුමාරයකු බිහි වන්නේ කොහොමද කියලා බැලුවොත් හරි ගවේෂණයක් කළොත් යම්කිසි දරුවකු කුඩා කාලයේ ඉඳලාම මුහුණ දෙන්නෙ තාඩන පීඩන වලට නම් අනාගතයේ සමාජයට බිහිවෙන්නෙ කළුකුමාරයෙක්. සම්ප්‍රදායයේ එන කළු කුමාරයා ගැන අපේ සමාජයේ මතය වෙලා තියෙන්නේ කළු චරිතයක් ලෙසයි. හැබැයි කළු කුමාරයා ගැන ශාස්ත්‍රීය ගවේෂණයක් කළොත් කළුකුමාර උත්පත්තිය පරිච්ඡේදයේදී උපන් කතා හතක් විතර ඇතුළත් වෙනවා. කොහොම වුණත් මේ විදියට උපතේ සිට දරුවකු තාඩන පීඩන වලට ලක් වුණොත් අනාගතයේ බිහි වන්නේ සමාජයට කළු චරිතයක්. ඒ වගේම එහිදී එයා මුලින්ම පළිගන්නෙත් හඹා යන්නෙත් තමාගෙම මව. මේ වීඩියෝ එක කෝණ දෙකකින් බලන්න පුළුවනි.

 

මේ කරුණු දිහා බැලුවාම මෙය ඇත්තටම මියුසික් වීඩියෝ එකක්ම කියන්නත් බැහැ වගෙයි.

මියුසික් වීඩියෝ එකක් තමයි, මියුසික් වීඩියෝ කලාව ඉතාම අනර්ඝ කලාවක් ලෙස අපට භාවිත කරන්නට පුළුවනි. විනාඩි දෙක තුනකට හෝ පහකට විතර සීමා වූ මියුසික් වීඩියෝවකින් රූප පංතිය වෙතින් අපට ​බොහෝ දේ ප්‍රකාශ කරන්න පුළුළුනි. ඒ අවකාශය උපරිමයෙන් ලැබී තිබෙනවා. මොකද මියුසික් වීඩියෝ එකක් කියන්නේ ආයෙ ආයෙත් බලන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ රූපමය හරඹය උපරිමයෙන් යොදා ගන්නට පුළුවනි. මේ මියුසික් වීඩියෝව වෙතින් මම උත්සාහ කළේ.

නැවත බලන්න

නැවත බලන්න

අලුත් අලුත් ප්‍රශ්න ගේන්න ප්‍රවනතාවයයි.

මේ වීඩියෝව මුදා හැරලා දින කිහිපයයි. ලක්ෂ ගණනාවක් එය නරඹා තිබෙනවා. අපේ රටේ ජනතාව හරි බුද්ධිමත්. මම එයාලගෙ අදහස් ඔක්කොම කියෙව්වා. මම විශ්වාස කළ දේ ඔවුන් ග්‍රහණය කරගෙන තිබෙන බව කියන්න පුළුවනි. මම හිතපු පරාසයට එහා ගිහින් අලුත් අලුත් විදියට එයාලා මෙය ග්‍රහණය කරගෙන ඇති බව පෙනෙනවා. මේ රටේ ජනතාව අතර ඇති උසස් රසවින්දන මට මෙයින් මැන ගන්න පුළුවන් වුණා. අපේ රටේ බොහෝ විට යූ ටියුබ්වල ට්‍රෙන්ඩින් වෙන්නෙ එකිනෙකට රෝමාන්තික හෝ හාස්‍ය තියෙන ඒවා. එක්කෝ ගොසිප් එකක්. නමුත් කළුවර මුදා හැරලා දින දෙකකට පසුව මියුසික් ලිස්ට් එකේ නම්බර් වන් වුණා. ​පොදුවේ පස්වැනි තැනට පත්වුණා. මෙන්න මේක තමයි අපි ලැබුව ජයග්‍රහණය. අපේ රටේ ට්‍රෙන්ඩින් තියෙන්නෙ ගොසිප් හාස්‍ය හෝ රෝමාන්තික ඒවාට විතරක් නෙමෙයි කියන එක අපට පැහැදිලි කර ගන්න පුළුවන්. කලාත්මක යැයි කිව්වොත් මිනිස්සු බලන එකක් නැහැ කියලා. නිර්මාණයක් කරද්දී සමහර විට නිර්මාණකරුවන් හිතන්න පුළුවන්. එ නිසා කලාත්මක බව අඩු කරලා නිර්මාණ කරන්න හිතාවි. හැබැයි එහෙම කරන්න ඕනෑ නැහැ. අපට උසස් රසවින්දනයක් තියෙන පිරිසක් මේ රටේ ඉන්නෙ කියෙන එක මෙහිදී අපි තේරුම් ගත්තා.

 

ඒ කියන්නෙ අනාගතයේදී මේ රටේ යූ ටියුබය හරහා හෝ අනෙක් ක්ෂේත්‍රවලදී කලාත්මක නිර්මාණ කරන්න තියෙන්නෙ හොඳ ඉඩක්.

අනිවාර් යෙන්ම ඔව්.

 

මේ විදියට කලාත්මක බව එක්ක අරුතක් දනවන නිර්මානයක් කිරිමට බොහෝ විට වැඩි පිරිවැයක් වැය වෙන බව සමහරු කියන දෙයක්. ඔබටත් එහෙම වෙන්න ඇති?

ඔව්. අපට මේ විදියට ලැබෙන සුන්දර ප්‍රතිචාර ලාභ නැහැ. ඒවා වටිනාකමක් එක්ක ලැබෙන ප්‍රතිචාර. අපි ලබාදුන් වටිනාකමට පෙරළා අපට ලැබෙන ප්‍රතිචාර. මේ නිර්මාණයට මම එක්කර ගන්නෙ අපේ රටේ සිනමාවේ නමක් තියෙන නිර්මාණශීලි පිරිසක්. සජ් (SAJ) ක්‍රියේෂන්ස් මගේ වුණාට මාත් එක්ක වැඩ කරන්නෙ ප්‍රවීණයන්. ඒ නිසා ඒ ප්‍රවීණයන්ගෙ වටිනාකම මම පියවන්නත් එපායැ. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න වුණා. හැබැයි ඒ ගැන මම සතුටු වන්නෙ. ඒක විශාල ආයෝජනයක් කියලා හිතන නිසයි. මගේ පරම්පරාව ප්‍රවීණ පරම්පරාව එක්ක මුසුවෙලා තමයි ‘කළුවර’ හැදුවේ. ඒ නිසාම වෙන්නත් ඇති බොහෝ දෙනා මෙම නිර්මාණය රස විඳින්නෙ. මගේ ප්‍රථම නිර්මාණය නිසා අනුග්‍රහයක් ගත්තෙත් නැහැ. මමයි මගේ බිරිඳයි. අපි අපිමට තමයි මෙය නිෂ්පාදනය කළේ.

සඳුන් ගම​ගේ

20201001Sajitha (2) 20201001Sajitha (3) 20201001Sajitha (4) 20201001Sajitha (5) 20201001Sajitha (6)

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares