Lanka Focus News

කල් ඉකුත්වෙන ෆයිසර් එන්නත් ගැන ගත් තීරණය

කල් ඉකුත්වෙන ෆයිසර් එන්නත් ගැන ගත් තීරණය

ලබන මාසයේ දී කල් ඉකුත්වීමට නියමිතව ඇති කොවිඩ් මර්දන එන්නත් තොගය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට ෆයිසර් එන්නත් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බවය.

අදාළ එන්නත් ජුලි මස අවසානය වන විට කල් ඉකුත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ෆයිසර් සමාගම දැනුවත් කර ඇති අතර එම එන්නත් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අදාළ එන්නත් අවශ්‍ය රටකට පරිත්‍යාග කිරීමට හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඊට අමතරව ෆයිසර් සමාගම සමග සාකච්ඡා කර එම එන්නත්වල කල් ඉකුත්වීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මීට පෙර එම සමාගම විසින් එවැනි දීර්ඝ කිරීම් සිදුකර ඇති අතර ශ්‍රී ලංකාවට ද එවැනි අවස්ථාවක් ලබාගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති අතර නිසි ක්‍රියාපටිපාටියකට අනුව එය සිදුකිරීම පිළිබඳව ද සාකච්ඡා ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා ජනතාවගේ උනන්දුව අඩුවීම සහ කොවිඩ් සම්බන්ධයෙන් අවදානම අඩුවීම මෙලෙස විශාල ලෙස එන්නත් ඉතිරිවීමට හේතු වී තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට කොවිඩ් සිව්වන මාත්‍රාව ද ලබාදීම ආරම්භ කර ඇති බවය.

administrator

Related Articles