Lanka Focus News

ඔස්ට්‍රේලියා නායකයාගෙන් හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියා නායකයාගෙන් හෙළිදරව්වක්

එහෙම කිව්වා කියලා මාව වැරදියට වටහාගන්න එපා

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා පැමිණි ගමනේදී සහභාගි වූ තරග 7කින් 6කම කාසියේ වාසිය දිනා ගැනීම තීරණාත්මක සාධකයක් වූ බව ඔස්ට්‍රේලියා නායක එරන් ෆින්ච් පවසයි.

ලෝක ශූරයන් වීමෙන් අනතුරුව පෙරේදා (14 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔස්ට්‍රේලියා නායකයා මේ බව කියා සිටියේය.

අවසන් මහා තරගයද ඇතුළුව මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග 7කින් කාසියේ වාසිය දිනාගත් අවස්ථා 6දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදෙමින් ජය වාර්තාකර ගත්තේය. සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ එංගලන්තය සමග පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් ඔස්ට්‍රේලියාව පරාජය වූ අතර එහි කාසියේ වාසියද ඔවුන් පරාජය වී තිබීම සුවිශේෂී කාරණයක් විය.

ඒ අනුව මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු හඹාගොස් කුසලාන දිනාගත් දෙවැනි කණ්ඩායම බවට ඔස්ට්‍රේලියාව පත් විය. මීට පෙර 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන් අදාළ දක්ෂතාව දක්වා තිබුණි.

‘විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේදී තරමක වාසනාවක් තිබිය යුතුයි. එහෙම කිව්වා කියලා මාව වැරදියට වටහාගන්න එපා. අපි තරග 7කින් 6ක කාසියේ වාසිය දිනා ගත්තා. ඒකත් දීර්ඝ ගමනක් එන්න එක හේතුවක්. නමුත් අපි ඇත්තටම ආක්‍රමණශීලීව හොඳින් ක්‍රීඩා කළා.

පවර්ප්ලේ අවස්ථාවේදී අපි ඉතාමත් හොඳින් පන්දු යැව්වා. පන්දුවාර 10ක් අවසානයේ නවසීලන්තයට රැස්කරගත හැකි වූයේ ලකුණු 57ක් පමණයි. නමුත් මෙතෙක් තරගවල නොතිබුණු ආකාරයට ඩුබායි ක්‍රීඩාංගණයට පින්න ඇදහැලෙන්න ගත්තාම තත්ත්වය ටිකක් අමාරු වෙනවා කියලා අපි දැනගෙන හිටියා.’යි කීවේය.

මියැදී යළි උපන් ලෝක කුසලාන වීරයා

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුණු ඔස්ට්‍රේලියානු සංචිතයට, එතෙක් පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථක වී සිටි ඩේවිඩ් වෝනර් ඇතුළත් කිරීම පිළිබඳව විචාරකයෝ විවිධ මත පළකර තිබුණි. එම අසාර්ථකත්වය හමුවේ ඉකුත් මාසයේ නිමාවට පත් වූ අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් කෙරුණු ඩේවිඩ් වෝනර්ව අවසන් තරග කිහිපයේදී එකී කණ්ඩායමෙන්ද ඉවත් කරන ලදී.

එවැනි තත්ත්වයක් තිබියදී වුවද, ඔස්ට්‍රේලියානු නායකයා වෝනර් කෙරෙහි විශ්වාසය තැබූ බව මෙහිදී අදහස් පල විණි. ‘මම කණ්ඩායම් පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ට කතා කළා. මම ඔහුට කිව්වා ඩේවිඩ් ගැන කරදර වෙන්න එපා. ඔහු අනිවාර්යයෙන්ම තරගාවලියේ වීරයා වේවි කියලා’ යනුවෙන් ෆින්ච් කීවේය.

නායකයාගේ විශ්වාසය තහවුරු කළ ඩේවිඩ් වෝනර් තරග 07කදී අර්ධ ශතක තුනක්ද ඇතුළුව ලකුණු 289ක් රැස් කරමින් තරගාවලියේ වීරයා බවට පත් විය. මෙතෙක් ඉතිහාසයේ ලෝක කුසලානයක් දිනූ කණ්ඩායමක ක්‍රීඩකයෙක් තරගාවලියේ වීරයා බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය විය. මීට ප්‍රථම 2010 වසරේ ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමේ කෙවින් පීටර්සන් තරගාවලියේ වීරයා වී තිබුණි.

එහිදී අදහස් දැක්වූ ඩේවිඩ් වෝනර් ‘මීට දශකයකට පෙර (2010 වසරේ) එංගලන්තය හමුවේ ලෝක කුසලාන අවසන් මහා තරගය පරාජය වීම විශාල වේදනාවක් ගෙන දුන්නා. නමුත් මෙවර අවසන් තරගය ජය ගැනීම ඉතාමත් විශිෂ්ටයි’ යනුවෙන් සිය අදහස් පළකළේය.

මිචෙල් මාෂ් සහ ජෝස් හස්ලිවුඩ්, යුවරාජ් සමගින් වාර්තා පොත් අතරට

ඔස්ට්‍රේලියාව (14 වැනිදා) ලෝක ශූරයන් වීමත් සමග අදාළ තරගයේ වීරයා වූ මිචෙල් මර්ෂ් සහ ජෝස් හස්ලිවුඩ් දෙදෙනා නව වාර්තාවකට හිමිකම් කීවේය. එනම් වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතාව, පන්දුවාර 50 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව සහ විස්සයි විස්ස ලෝක ශූරතාවක් දිනූ කණ්ඩායම් නියෝජනය කර තිබීමය.

මීට පෙර එම ලෝක කුසලාන තරගාවලි තුනම ජයගෙන තිබූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ ඉන්දියාවේ යුවරාජ් සිං ය.

මිචෙල් ස්ටාර්ක් සහ බිරිඳගෙන් වාර්තාවක්

මිචෙල් ස්ටාර්ක් සහ ඔහුගේ බිරිඳ ඇලීසා හීලි විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනූ ලොව එකම අඹුසැමි යුවළ බවට පෙරේදා ජයග්‍රහණයත් සමගින් පත් විය.

මෙතෙක් පැවැති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 7ක් අතුරින් ඔස්ට්‍රේලියාව ශූරතාව දිනූ 5 වතාවේදීම ඇලීසා හීලි කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර තිබිණි.

administrator

    Related Articles

    Close
    shares