Lanka Focus News

එජාප ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන්

එජාප ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන්

එජාප පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගෙන පක්ෂයේ අභිමානයද ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අනුරාධපුරයේදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (21) අනුරාධපුරයෙන් ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන් සහ ඔවුන්ගේ ආධාර කරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි සීදේවි හෝටලයේදි පැවැත්විණි.

එම සමාරම්භක උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

‘‘එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් සිදු කිරිම ඊයේ (21) අපි අනුරාධපුරයෙන් ආරම්භ කළා. ආසන සංවිධායකයින් හා අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමින් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ වාගේම කොරෝනා රෝගය ව්‍යාප්තවි තිබෙන අවස්ථාවක සියල්ලන් සමග සාකච්ජා කරලා පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුව හෙට අපි නුවර දිස්ත්‍රික්කයට යනවා. මේ ආකාරයට දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පක්ෂයේ ආසන සංවිධායකයන් හා ක්‍රියාකාරින් හමුවෙලා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දියත් කිරිමට තිරණය කොට තිබෙනවා.

විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන් කළ කිරිමකට පත්ව සිටියා මැතිවරණය පරාජය වූ අවස්ථාවේ. ඒ වුණාට පාක්ෂිකයන්ගේ හිතේ එක්සත් ජාතික පක්ෂය තාමත් තිබෙනවා. අපි විශ්වාස කරනවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකිවෙයි කියලා.

පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන,විශ්වාසය දිනා ගෙන ඉදිරියේදි විශාල බලවේගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒක අපි කරනවා. 2025 වෙන කොට මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා.

පක්ෂයේ මුහුණුවරේ වෙනසක් අවශ්‍යවි තිබෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලයේ අපේ පාක්ෂිකයන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තිබුනා. අපි ඒක පිළිගන්නට ඔනේ. ඒ නිසා නැවත පාක්ෂිකයන්ගේ හිත දිනා ගෙන පක්ෂය ශක්තිමත් කරන්න ඔනේ. දෙසැම්බර් මාසයේ අගවන විට ජනවාරියේ මුල් සතිය වන විට දකින්නට ලැබෙයි මේ පක්ෂයේ අපි ඇතිකරන වෙනස් කම්.
එජාප ආණ්ඩුව කාලේ ජනතාවගේ ජීවන බර අඩුකරලා දුන්නා, ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නා. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කළා. නමුත් අද මොනවද කරලා තියෙන්නේ.

පළමුවෙන්ම කොරෝනා රෝගය පැතිර යන අවස්ථාවේ එය මැඩ පැවැත්විම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයට උදව්කළා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ධීවරයන් ගැන බලන්න.. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත දිහා බලන්න කියලා. නමුත් එතුමා කියුව දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. එදා ජනාධිපතිතුමා කියුවේ මම තමයි සියල්ල නතර කළේ කියලා. දැන් බලන කොට මොනවද වෙලා තියෙන්නේ?

පසුගිය මහ මැතිවරණයේදි අපට ජනවරමක් ලැබුනේ නැහැ පාර්ලිමේන්තුවට යන්නට. පරාජයට පත්වුනා. නමුත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුරයක් තිබෙනවා. එම මන්ත්‍රිධුරය කාටද දෙන්නේ කියලා අපි සඳුදා සාකච්චා කරනවා. ඒ වාගේම විපක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහින් ආණ්ඩුවේ අසුන් ගැනිම ගැන කණගාටු වෙනවා. අපි මේ ගැන මැතිවරණයේදි අපේ පාක්ෂිකයන්ට කිව්වා. අපි දැන් තිරණයක් අරගෙන තියෙනවා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයට සුදුස්සෙක් පත්කරන්න.

විසිවැනි සංශෝධනය සම්මත කරගෙන විශාල බලතල සහිත ජනාධිපතිවරයෙක් ඉන්නේ.ඒ වාගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් රජයට තිබෙනවා. ඒ බලයත් එක්ක හැප්පෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළු පක්ෂ හා එක්ව කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සුදානම්…‘‘ යැයි එජාප නියෝජ්‍ය නායක රැවන් විජයවර්ධන මහතා මෙහිදි පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු එජාප මැති ඇමතිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, රංජිත් සමරසිංහ යන මහත්වරු ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු ඔවුන්ගේ ක්‍රියාකාරිහු පිරිසක් එක්ව සිටියහ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares