Lanka Focus News

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ජනපතිට සුබපැතුම් එක්කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ජනපතිට සුබපැතුම් එක්කරයි

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් සහ ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව පෙන්වා දී තිබේ.

මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කරගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමු කළ සුබපැතුම් පණිවුඩයේ දක්වා ඇත.

එසේ කිරීමේදී මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍ය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පළකර ඇති බවද අදාළ පණිවුඩයෙන් දක්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහාය දැක්වීමට සූදානමින් සිටින අතර සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සාමය ගොඩනැගීම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද පෙන්වා දී තිබේ.

administrator

Related Articles