Lanka Focus News

අහිමි කළ කිරුළ නැවතත් පුෂ්පිකාට

අහිමි කළ කිරුළ නැවතත් පුෂ්පිකාට

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ යළි පුෂ්පිකා ද සිල්වා වෙතම ලබාදීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.

පසුගිය (04) නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරඟය පැවැත්විය.

එහිදී ජයග්‍රාහී කිරුළ පුෂ්පිකා ද සිල්වා ට හිමි වු නමුත් සිදුවු අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් කිරුළ තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට හිමි වුවාය.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ පැලඳී අවස්ථාවේ දී වේදිකාවේ සිදුවු දේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවු දෙයකි.

මේ වසරේ කිරුළ හිමිකර ගත් පුෂ්පිකා ද සිල්වා ට ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසින් කිරුළ පැලඳවිය.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම තමාට යම් දෙයක් පැවසීමට අවැසි බව සඳහන් කරමින් කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ මෙලෙස පැවසීය.

“මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. විවාහක රූ රැජින තේරීමේදී නීතියක් තියෙනවා. ඒ සඳහා සහභාගී විය හැක්කේ විවාහක අය පමණයි. දික්කසාද වූ අයට අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියනවා, කිරුළ හිමි වන්නේ දෙවන ස්ථානය හිමි වූ කෙනාටයි.“

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත් කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

මෙම සිදුවීම අද සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්විය.

කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, තමන් දික්කසාද අයෙකු නොවන බව වගකීමෙන් පවසන බවය.

තරගයට තමා නුසුදුසු නම් තරගාවලිය ආරම්භයේදීම ඒ පිළිබඳ තීරණයක් නොගත්තේ මන්දැයි ඇය ප්‍රශ්න කර සිටී.

සිද්ධියට මුහුණ පෑ පුෂ්පිකා අප සමග පැවසුවේ, පැලඳ සිටි කිරුළ ඉවත් කිරීමේදී හිසේ ඇතිවූ තුවාල හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

සිද්ධිය පිළිබඳ මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් හි ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා ද පවසා සිටියේ, 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා පිළිගන්නා බවය.

කෙසේ වෙතත් අහිමි වූ කිරුළ යළි පුෂ්පිකා වෙතම ලබා දෙන්නට තරග සංවිධායකයන් මේ වන විට තීරණය කර තිබේ.

administrator

    Related Articles

    Close
    shares