Lanka Focus News

අපි කොහොමහරි මේ ගේම් එක ප්ලේ කරන්න ඕන

අපි කොහොමහරි මේ ගේම් එක ප්ලේ කරන්න ඕන




ඉදිරි මැතිවරණවලදීත් මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් සකසා අවසන් බවද ඔහු සඳහන් කළේය.

“පොදුජන පෙරමුණ ගමින් ගමට” වැඩසටහනේ මිනුවන්ගොඩ ආසනයේ රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම මේ බව කීවේය.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් සියලුම දෙනා සඳහන් කළේ කුමන අභියෝග පැමිණියද තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර නොයන බවයි.

ඉදිරි මැතිවරණවලදීත් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවද ඔවුහු සඳහන් කළහ.

“ඉකුත් මැයි මස 9 වැනිදා සිදුවූ කෝළහාලයෙන් අපේ පාක්ෂිකයෝ බොහෝ දෙනෙකු විවිධාකාරයෙන් පීඩාවට පත්වූණා. සමහරු පහර කෑමට ලක්වුණා. තවත් සමහරුන්ගේ මුළු සේසතම ගිණිබත් වුණා.

ඒ සිදුවීම වෙලා දැන් මාස තුනකටත් වැඩියි.  ප්‍රහාරයට ලක්වුණු අය ගැන පක්ෂය බැලුවෙ නෑ කියන කළකිරීම අපේ පාක්ෂිකයන් තුළ තියෙනවා. ඒ වෙලාවේ අපිත් අසරණ වෙලා හිටියේ. ඒත් අපි පුළුවන් විදියට අපේ පාක්ෂිකයො ගැන හොයල බැලුවා. අපි ඔබ තනිකරන්නෙ නැහැ. ඉදිරියේදි පක්ෂයෙන් ඔබට සාධාරණයක් වේවි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

කුමන්ත්‍රණකරුවන් හරියට හඳුනාගත නොහැකි වීම අපේ ලොකු දුර්වලතාවයක්.2014 දි වගේම 2022දිත් අපිට වැරදුණේ එතනයි. අපේ අඩුපාඩු නිසා ගම්වල හිටපු අපේ දේශපාලන විරුද්ධවාදීන් සංවිධානය වුණා.

පසුගිය කාලෙ වෙච්චි දේවල් නිසා මිනිස්සු දේශපාලනයට එන්න අකමැතියි.අපේ පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුනුත් ඉන්නෙ කලකිරීමෙන්. ඒක සාධාරණයි. එදා තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ. අභියෝගවලට බයවෙලා දේශපාලනය කරන්න බැහැ. අපි කොහොමහරි මේ ගේම් එක ප්ලේ කරන්න ඕන. එහෙම නොවුනොත් අපි පරාදයි.

ඊනියා කුමන්ත්‍රණකාරී අරගලයෙන් වැඩිම හානි වුනේ මගේ මිනුවන්ගොඩ ආසනයටයි.ඒකට හේතුව ලංකාවේ වැඩිම ජන්ද ප්‍රතිශතය තියෙන්නේ මේ ආසනයෙයි. මම තාම ඔබත් සමඟ ඉන්නවා. ඉදිරියටත් එහෙමයි.

තවමත් මිනිස්සු මේ පක්ෂය එක්ක ඉන්නවා. ඒ මිනිස්සුන්ට නිවැරදි නායකත්වයක් දුන්නොත් අපිට ආයෙමත් ජයග්‍රාහි මාවතට එන්න පුළුවන්. ඊළඟ මැතිවරණයේදීත් මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට පත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි . ඒ ගැන කිසිදු සැකයක් තියා ගන්න එපා.

ඒක නිසා දැන් අපි පක්ෂයට බැන බැන ඉදල වැඩක් නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් යම් දෙයක් කළා.  ඒ කළ දේවල් හරිද ?වැරදිද? කියල අනාගතය තීරණය කරාවි” යැයිද සඳහන් කළේය.




administrator

Related Articles