Lanka Focus News

අටුලුගම දැරියගේ ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට

අටුලුගම දැරියගේ ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට




බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී 09 හැවිරිදි දැරියගේ ඝාතන සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 29 හැවිරිදි වියේ පසුවන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

බණ්ඩාරගම අටුලුගම විසූ වයස අවුරුදු 09ක් වූ ෆාතිමා ආයීෂා ඉකුත් සිකුරාදා පෙරවරුවේ සිය නිවසට මීටර් 250ක් ආසන්නයෙන් පිහිටි කුකුළු මස් වෙළෙඳසැලකට ගොස් යළි නිවසට නොපැමිණීමත් සමඟ ඇය සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරිය‍ගේ නිසල සිරුර සොයාගනු ලැබුවේ නිවස අසළ අටුලුගම මහපල්ලිය ඉදිරිපිට කැලෑබද වගුරුබිමක තිබියදීය.

ප්‍රදේශවාසීන් විසින් දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විටත් සිරුර මඩවලින් වසා දමා තිබුණි.

සිදුවීමට අදාළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි උඩවත්ත මහත්මිය විසින් සිදුකළේය.

දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ දී මේ වනවිට සිදු කෙරේ.

දැරියගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට භාරදීමට පොලිස්පතිවරයා ඊයේ නියෝග කළේය.

එමෙන්ම එම ප්‍රදේශයේ පදිංචි සීරිම් තුවාල සහිත සැකකටයුතු පුද්ගලයින් කිහිපදෙනෙක්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ඊයේ පස්වරුවේ ෆාතිමාගේ නිවසට පැමිණ තිබුණි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අද උදෑසන ෆාතිමාගේ නිවසට පැමිණියේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ෆාතිමාගේ සහෝදරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සහෝදරියට සාධාරණයක් ඉටුකර දෙන ලෙසය.

ෆාතිමාගේ නිසල සිරුර මිහිදන් කිරීම සඳහා අටුලුගම මහපල්ලියේ සුසාන භුමිය මේ වනවිට සකස් කරමින් තිබේ.




administrator

Related Articles