Lanka Focus News

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

මෙරට 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ දිවුරුම් දෙනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ හය වන වරටය.

ඒ අනුව ඔහු මෙරට අග්‍රාමාත්‍යවරයෙකු ලෙස වැඩිම වාරගණනක් ධුරයේ කටයුතු කළ දේශපාලනඥයා ද වෙයි.

පසුගිය මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වූ අතර ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂයට හිමිවූ එකම මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වුනි.

ඒ අනුව මැතිවරණයෙන් පරාජය ලැබු දේශපාලන පක්ෂයට නායකයෙකුට මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයෙකු පමණක් සිටින දේශපාලන පක්ෂයක නායකයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමද විශේෂත්වයකි.

මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාළුකාරාමය සහ හුණුපිටිය ගංගාරාමය යන විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වුනි.

එහිදී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා තමන් ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවය.

මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන අතර තුන්වරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.

administrator

Related Articles